පවස නිවන දිය පොදක් නොවී ඔබ
ඇයි මහ සාගරයක් වූයේ....
නුඹ ගඟක් නොවී වැවක් වුණානම්.. සැබෑ ප්‍රේමයෙන් යා වෙන හැම හිතක්ම ඒ පැතුමෙහි අයිතිකාරයෙක්යැයි මට සිතේ. ගඟ දිය එක් තැන මොහොතක් නොරුඳී ගමනාන්තයක් බලා චාරිකාවකය. ගං දෑල සදාතනිකව දෙපසකට කර ඒ ගඟ දිය ඇදී යයි. ඒ ගඟ දිය නපුරුයැයි මට තවත් වරෙක සිතේ. මහා සාගරය අනන්තයකි. එහෙත් පවස නිවාගන්නට එක දිය දෝතක් දන් දෙන්නට ඒ මහා සාගරයට වරම් නැත. නුඹ මට වැවක් වුණානම්. නියංසායට හසුව මහා වැව් වුණත් සිඳී යනවා නේද? ඔව් වැව් දිය සිඳී ගියත් වැවත් වැව් තාවුල්ලත් අතරේ තියෙන ආදරය කවදාවත් බිඳෙන්නේ නෑ... ඒක සංසාර බැඳීමක් වගේ ගඟ මුව දොරක් හමුවෙනකම් නවතින මානයන් දන්නේ ගඟ දියම විතරයි.. ඒත් කවදාවත් වැවක් වැව් දිය පවුරු බිඳගෙන ගියේ නෑ... මහා නියඟ ඇවිත් අන්තිම දිය බිඳුවත් අරගෙන ගියාට පස්සෙත් වැව ගිම් නිවාගත්තේ වැව් තාවුල්ල කියන උරහිසේ හිස තියාගෙන... දුක සැප සමරිසි ලෙස බෙදාගන්න හැටි වැවත් වැව් තාවුල්ලත් කියා දෙන හැටි....
සොබාදහම ආදරය ගැන කියලා දෙන්නේ මහා වැවකින් කියලා මට හිතෙනවා... වැව් තාවුල්ල යස උරහිසක් වගේ.. පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහ සාගරයක් වූයේ... කියන පද ඇහෙද්දී මට මතක් වෙන්නේ මහා වැවක්... ඇයි මගේ ජීවිත වෙහෙස නිවන සුළං රැල්ලක් නොවී ඔබ මහා මාරුතයක් වුණේ... ඇයි ඔබ මා නිවන වැහි පොදක් නොවී මහා වැස්සක් වුණේ.. ඇයි ඔබ මගේ ජීවිතේ පිපාසෙට මගේ ආත්මයේ පිපාසෙට සිසිලස ගෙනෙන දිය පොදක් නොවී මහා සාගරයක් වුණේ... කොයි තරම් විසල් වුවත් සාගර ගැඹුරේ මොනතරම් වටින දේවල් සඟවාගෙන හිටියත් තිබහකට දිය පොදක් බොන්න බැරි සාගරය කුමකටද මට?
මේ භවයෙදි මුළු දිය දායේ
එකතු නොවෙනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක් නොවී ඔබ
ඇයි මහ සාගරයක් වූයේ
මේ ගීයේ සැඟවුණු කතාවක් ඇතැයි මට සිතේ..
සංසාරයේ මේ භවයේදී මේ ලෝකයේදී අප ආයෙත් නොබැඳෙනු ඇත.. එලෙසින් කියන්නේ ඉන් පෙර අප එලෙසින් බැඳී සිටි වග නොකියා කියමින්ය. විසල් වත් පොහොසත්කම් ඔබට තිබුණත් සාර සුබාවට මා සිත මා ගත ගිම් නිවන සිහිලසක් තිබුණේ නෑ ඔබ ගාව.. රළු පරළු ගනුදෙනුවක් මිස.. මගේ ජීවිතේ මට දැනුණු මම වින්ද පිපාසයට ඔබ දියවරක් නොවුණත් දිය පොදක් හෝ වුණානම් ඉන්න තිබුණා ළඟින් අත්නොහැර...
ඔබ ගැන ඉපදෙන සිතුවිල්ලේ
අවසන මුල වේ ලතැවිල්ලේ
වෙරළෙහි ගල් පරයක් වියහැකිනම්
තෙමුණත් ඇත කරදිය වැල්ලේ
ආදරයම අත්හැරීමක් බවට පරිවර්තනය වෙයි.. බැඳීම් වෙන්වීම් බවට පත්වෙයි. ස්නේහය විරසකයක් බවට පෙරළෙයි.. පෙර දිනෙක සුයාමය මැවූ බන්ධන යළි එක් කළ නොහැකි වෙන්වීම් බවට පෙරළේ... ඔබටත් මටත් කියා වෙනසක් නොවන ඒ සනාතන ධර්මයන් අබිමුව කඳුළු අකැප මුත් සංවේදී වෙන හදවත් ඇස් පාමුල සියුම් සැත්කම් කරයි කඳුළින්... ජීවිතයෙන් ඈතකට වීසි කර දැමුවත්. හමුනොවෙන මඟතොටක අත්හැර දමා ආවත් මතක කන්දරාවන් ඒ මතක හා සමාන සංසිද්ධීන් ඇස් අග ජීවමාන වන මොහොතක කෝ අපි අපිටත් අවනත නෑ නේද? දෝංකාර දිදී මනසේ සිත්තම් වෙන අතීත මතක මගේ ජීවිතයේත් ඔබේ ජීවිතයේත් නැති වෙන්නට විදිහක් නැත.. එවන් සිතුවිල්ලක් දලුලද්දීත් ඒ සිතුවිල්ලෙන් සිත මුදාගනිද්දීත් ලතැවිල්ල ජීවිතය අත්නොහැර ලුහුබඳියි. හිස්තැනක් මහා කුහරයක් බවට පත්වී රිදුම් දෙද්දී සුවපත්වෙනු පිණිස ස්නේහයක් නොඉල්ලන්නේ කවුද? රැකවරණය ගරුත්වය සැලකිල්ල ප්‍රේමය දැනෙන තැන දණ නොගසන්නේ කවුද? ඒත් ඒ සියල්ල අවසනත් ඇත්තේ රිදුම් මිස අන් කවරක්දැයි සිතෙයි... බැඳීම් අත්හැරීම්වලට වඩා අවසානයේ මහා වේදනාවක් ජීවිතයට උරුම කර සැඟව යන බව මට සිතෙයි.
ඉඳින් මට නොසැලී සිටිය හැකිනම්
වෙරළෙහි ගල් පරයක් වියහැකිනම්
තෙමුනත් ඇත කරදිය වැල්ලේ
වෙරළෙහි ගල් පරයකට කුමට අන් සුවයක්.. ලද දෙයින් තුටු වෙන ඒ හිත මහා සැනසිල්ලකය... අව් කාෂ්ඨකේ ගිනි විහිදෙන්නට රත් වෙද්දී වෙහෙසකර වුවත් ගිම් නිවන්නට කෝ උරහිසක්... ඒ ගිනි නිවන්නට සිහිලසක් තෙතමනයක් නැති කරදිය පමණි ගල් පරය මත දැවටෙන්නේ... එහෙත් ඒ ගල් පරය හඬගා ආත්ම වේදනාවන් නොකියා සියල්ල දරා සිටියි... ඇති මට තෙමුණොත් කරදිය ඇබින්දකින්.. කම් නෑ නොතිබුණත් සිහිලසක්... අප්‍රමාණ ස්නේහය අයදින අපිටත් නොහඬමින් නොඉල්ලමින් වෙරළෙහි ගල් පරයක් විලස ජීවිත සත්තාව දැකිය හැකිනම්.. අල්ලා ගැනීම වෙනුවට අත්හැරීම පුරුදු කර දුක් සහිත සසර මඟ නිමා කරන්නට විදසුන් වඩමින් රහතුන් ගිය
මඟ යා හැකිනම්...
ප්‍රේමතෝ ජායතී සෝකෝ
ප්‍රේමතෝ ජායතී භයං
ප්‍රේමතෝ විප්ප මුත්තස්ස
නත්ථි සෝකෝ කුතෝ භයං
ප්‍රේමයෙන් ශෝකය උපදී. ප්‍රේමයෙන් භය උපදී. ප්‍රේමයෙන් විනිර්මුක්ත වූ විට ශෝකයක් හෝ භයක් නැත.
මේ ප්‍රේමය සංසාර තෘෂ්ණාවයි. ශෝකය භය උපද්දවන උල්පත් මූලාශ්‍රය ඒ සංසාරික තෘෂ්ණාවයි. ඒ උල්පත් සිඳිය හැකි තැන නිර්වාණ නිවීම මුණගැසේ. ජීවිතයේ අත්විඳින එකම සැබෑ සන්තෘෂ්ටිය එතැනම මිස කවර ඉසව්වකද?
මහා දාර්ශනික කියවීමක් මේ ගී පද ගැඹුරේ මට හමුවේ.
සුදු මුදු වැල්ලෙහි නතර වෙලා
රල පස රල ලුහුබඳිනු බලා
සුදු මුදු වැල්ල නිවීමක් සොයා යන පුණ්‍ය තීර්ථයයැයි මට සිතේ. ආශා අත්හරින්නට වෙර දරන නිරාමිස මනසින් මම ඒ දාර්ශනික ජීවන වැල්ලේ නතර වී ජීවිතය හා ලෝකය දෙස බලා ඉන්නවා.. මට පෙනෙනවා මහා මහෝඝයක් වී රල නගන අප්‍රමාණ මිනිස් ආශාවන්.. මේ මහපොළොවම ඒ මිනිස් සිතුවිලි කියන දූවිල්ලෙන් වැහිලා. සංසාරයේ ආ දුර සහ යා යුතු දුර නොදැන අපි සසර ලුහුබඳිනවා.. හරියට එක රලක් නැගී බිඳෙද්දී උපදින තව රලක් වගේ කෝ නිමාවක් කෝ අවසානයක්... සියලු වෙහෙස සුසුමකට කැටි කොට මම හිස් අවකාශයට ඒ සුසුම් මුදා හරිමි.
හදවත නැමැති ගල්පරයේ මම උපදින සියලු හැඟුම් ගසා බිඳ හෙලමි. ඒ නික්ලේශී පැතුම් සඳුන් සේ වෙන හෙයින් සුවඳක්ම විහිදුවයි. පැතුම් නැමති සඳුන් කැටය මම ජීවිත යථාවබෝධය නැමැති ගලෙහි උලා දියකර හරිමි.
අවසන සැනසිල්ලේ මඟ මම ඇවිද යමි. මා සොයන ජීවිතය එතැනය.
► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර